ජනාධිපති අර්බුදය විසඳුවේ නැත්නම් අපි විතරක් නොවෙයි රටත් ඉවරයි


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වහාම මේ ප්‍රශ්නය විසඳීමට පියවර නොගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, පොහොට්ටුවත්, සමස්ත රටත්, ඉවර වෙනවා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පසුගියදා මතුගමදී කීවේය.
මතුගම නගරයේදී මාධ්‍යවේදීන් හමුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් වෙල්ගම මහතා මෙසේද කීවේය.
'මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා හැංගි හොරා සෙල්ලම් නොකර පැහැදිලිව තීරණයක් ගත යුතුයි. මෛත්‍රිපාල සිරිසේන මහතා වළේ වැටිල ඉන්න නිසා රනිල් මහත්තයවත් මහින්ද රාජපක්ෂ මහතාවත් වළට ඇදලා දැම්මා.
දැන්වත් පක්ෂ ගැන පුද්ගලයෝ ගැන නොසිතා රට ගැන හිතල තීන්දුවක් ගත යුතුයි. මහ මැතිවරණයකට ගියොත් මේ ප්‍රශ්ය විසඳන්න පුළුවන්. නමුත් මහ මැතිවරණයට යන්න තීන්දුව දෙන්නෙ දෙසැම්බර් මාසෙ හත් වැනිදායින් පස්සෙයි. තුනෙන් දෙක නැතිව එතෙක් අපට මහ මැතිවරණයකට යන්න බැහැ. නමුත් තුනෙන් දෙකක් ඒකට ලැබෙන්නේ නැහැ. මේ තීන්දුව එනතුරු හැම කෙනාම බලාගෙන ඉන්නවා. තීන්දුව ආවෙ නැති නම් 2020 මාර්තු වෙනතුරු මේ පවතින ආණ්ඩුවට යන්න පුළුවන්. එම නිසා රට ගැන හිතලා ඒකාබද්ධය විදියට එක අඩියක් පස්සට ගත යුතුයි.
මේක ව්‍යවස්ථා අර්බුදයක්. ඒ නිසා මේක ඉක්මනින් විස¼දාගත යුතුයි. අපේ සමහර අය කට ඇරියොත් බොරු කියන්නෙ. ඒ අයව මතක් කරන්න එපා. අපව මුළුමනින්ම අමාරුවේ දැම්මෙ ඒ අයයි. ඒ අයගෙ නමවත් මතක් කරන්න කැමැති නැහැ.
බහුතරය තියෙන අයට ආණ්ඩුව ලබා දිය යුතුයි. අගමැතිකම කාට දිය යුතුද කියලා මම දන්නෙ නැහැ. නමුත් බහුතරය තියෙන අයට ආණ්ඩුව දිය යුතුයි. රටේ හැම කෙනාගෙම මතය ඒකයි. මේ ගැන ජනාධිපතිතුමාට තීරණයක් ගත හැකියි. පාර්ලිමේන්තුවේ 122ක් පෙන්නල තියෙනවා. ලබන 29 වැනිදාත් ඡන්දයක් තියන්න පුළුවන්. බහුතරයට ආණ්ඩුව දෙනවද කියල ජනාධිපතිතුමා හරි තීන්දුවක් ගත යුතුයි.
තේරීම් කාරක සභා පත් කිරීමේදී විපක්ෂයට වැඩි බලයක් තිබෙන බව ඔප්පු වුණා.
අපිට බහුතරයක් නැතිව යන්න බැරි බව මම මුල ඉඳලම කිව්වා. පාර්ලිමේන්තුවේ ස්ථීවරම හරි බහුතරයක් නැතිව අණ පනත් සම්මත කරගන්න බැහැ. එහෙම අණ පනත් සම්මත නොකර රටක් පාලනය කරන්න බැහැ. මේක අපි තේරුම් ගත යුතුයි.
අද රටේ ජනතාව මුළු පාර්ලිමේන්තුවම එපා වෙලා ඉවරයි. පාර්ලිමේන්තුමේ ඉන්න225 දෙනාම ගෙදර යා යුතුයි කියලයි ජනතාව කියන්නෙ. මේ ගොල්ල ගෙදර යවල අලුත් අය එන්න ඕන කියලයි රටේ මහජනතාව කියන්නෙ.
මහජන නියෝජිතයො විදියට රටේ ජනතාව අපව පාර්ලිමේන්තුවට යවන්නෙ ඒකෙ ඇතුළෙ ගෝරි දාගන්න නෙවෙයි. මම නම් පාර්ලිමේන්තුව ඇතුළෙ ගෝරි දාගන්න සූදානම් නැහැ. ගහගන්න ඔතැනට යන්න ඕන නැහැ. ඔය විනාශ වෙන්නෙ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්.'
මතුගම - වසන්ත කුමාර

www.reporter.lk

No comments:

Powered by Blogger.