කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට ෆොන්සේකා සීඅයිඩියට කැඳවයි

කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට ෆොන්සේකා සීඅයිඩියට කැඳවයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
 
සරත් ෆොන්සේකා මහතාට අද (25) දහවල් 12ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
 
කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නේ දෙවැනි වතාවටය. 
 
කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතාය.
 
මෙම විමර්ශනය පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරූ ජයසුරිය මහතා ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අලුතින් ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි  කර ගැනීම් සඳහා සරත් ෆොන්සේකා මහතාගෙන් හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.
 
ඒ අනුව අද (25) සරත් ෆොන්සේකා මහතා කැඳවන බවත්, ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.

2018 මැයි මාසය දක්වා කළ පරීක්ෂණ අනුව කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට ෆොන්සේකා මහතාගේ සම්බන්ධයක් නොපෙනෙන බවත්, ඉදිරියේද විමර්ශන පවත්වන බවත් පසුගිය මැයි මාසයේ දී රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. 
 
මෙම සිද්ධියට සැකපිට යුද හමුදාවේ මරදාන ට්‍රිපෝලි කඳවුරේ පිහිටවා තිබූ යුද හමුදා බුද්ධි අනු ඛණ්ඩයේ පස් දෙනෙක් ද යුද හමුදාවේ බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ද ඇප පිට සිටිති. මාස පහක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටි අමල් කරුණාසේකර මහතා ඇප පිට මුදා හැරුණේ පසුගිය 10 වැනි දා ය.

No comments:

Powered by Blogger.