ක්‍රිකට් ක්‍රීඩාවේ මේ විනාශයට බුකිසිරි වගකිව යුතුයි….

“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ……”යි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වත්මන ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් හමුවේ අද (24) අදහස් දක්වමිනි. ඒ කටුනායක වලාන සිරි සුමනාරාම පුරාණ මහා විහාරස්ථානයේදී මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ “ගමේ පන්සල ගමට සවියක්…” ප්‍රජා වැඩසටහනට එක්වෙමින් වේ.

එහිදී “ඇමතිතුමා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ප්‍රකාශ කර සිටියා ඔබතුමා ඉන්නකල් මේ ක්‍රිකට් ක්‍රීඩාව හදන්න වෙන්නේ නැහැ කියලා…?” යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ, පසුගිය ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලොකු අඩුපාඩු තිබුණත් ඔහු නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කර බුකීකාරයින්ට සහ සූදුකාරයින්ට ක්‍රිකට් පරිපාලනයට ඒමට නොදුන් බවයි. “නමුත් දයාසිරි ක්‍රීඩා අමාත්‍යවරයා මොකද්ද කළේ ? එතුමා නීතිඥවරයෙක් කිව්වට නීතිය කියවා ගන්න දන්නේ නැතිව ක්‍රිකට් පරිපාලනයට බුකිකාරයින්ට එන්න දුන්නා. අද බුකිකාරයින් මේ සමස්ත ක්‍රීඩාවම විනාශ කර තිබෙනවා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග එහිදී කියා සිටියේය.


“දයාසිරි ජයසේකර කියන්නේ කවුද කියලා මිනිස්සු හොඳට දන්නවා. ඔබතුමාලට පුළුවන් නම් 2015 මැතිවරණයට පෙර දයාසිරි කියපු දේවල් මොනවාද කියලා බලන්නකෝ. අපේ ජනාධිපතිතුමාට කිවුවේ හිටන් හුටන්, කොන්දක් නැහැ කියලා. හැබැයි ඇමතිකම දෙනකොට ජනාධිපතිතුමා ළඟට ගිහින් කොන්ද නැතිව දෙකට තුනට නැමිලා, වැඳලා ඇමතිකම් ගත්ත කෙනෙක් එතුමා. අනික ඔය දයාසිරි නෙමෙයි කථා කළේ. බුකි සිරි කතා කළේ. 

ඔහු තමයි බුකිකරුවෝ ක්‍රිකට් පරිපාලනයට ගෙනෙල්ලා ක්‍රිකට් ක්‍රීඩාවට නැත්තටම නැතිවන ලෙස විනාශ කළේ. බුකිකාරයෝ සූදුකාරයෝ පටලගෙන මේ ක්‍රිකට් විනාශ කළේ. ඔහුට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දක්ෂ ක්‍රීඩකයින් එක්ක. පසුගිය කාළේ සුසන්තිකාට අපහාස කළා. මාලිංගට අපහාස කළා. දයාසිරි හිතන්නේ එයා හරි දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. පාරේ බැහැලා පොලු කරවලා සරඹ පෙන්නුවාට, ජිම් එකට ගිහින් පින්තූර ගත්තට ක්‍රීඩකයෝ වෙන්නේ නැහැ. ඔබ සොයා බලන්න එදා දායාසිරි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සිටි කා‍ලේ ගම්වල තිබුණු ක්‍රීඩාංගණවලට කොයිතරම් මුදලක් ගිහින් තියෙනවද ? ඒ මුදල් ඇත්තටම ක්‍රීඩාංගණ හදන්න යොදවලා තියෙනවද කියලා විතරක්. 

මම හිතන්නේ දයාසිරි ගැන අහන්න ඕනේ මගෙන් නෙමෙයි. ජී එල්. පීරිස් ඇමතිතුමාගෙන් අහන්න දයාසිරි කියන්නේ කවුද කියලා. නැත්නම් අහන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් දයාසිරි කවුද කියලා. ඒ අය හොඳට කියලා දෙයි දයාසිරි කියන්නේ කවුද කියලා. ඔය සිරිට හරියන්නේ මාලිංගේ බෙනේ කථාවම තමයි.”යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් පරාජයන්ට හේතු සහ එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝග ගැනද සිය මතය ප්‍රකාශය කළේය. 

”මම මීට කලින් කිව්වා අපි බංගලාදේශයට පරදිනවා කියලා. ඒක සිද්ධ වුණා. මම මාස 6 – 8කට ඉස්සෙල්ලා කිවුවා ඇෆ්ගනිස්ථානයට පරදිනවා කියලා. ඒකත් සිද්ධ වුණා. මම තව ටික කාලයකින් කියන්නම් මෙහෙම ගියොත් කාටද පරදින්නේ කියලා. ඒ තරමට අපේ ක්‍රිකට් විනාශ වෙලා. නමුත් තාම අපේ ක්‍රිකට් බිම ඇනිලා නැහැ. මේ ක්‍රීඩකයෝ හදන්න පුළුවන්. අපි තාමත් කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන්පසුව නිලවරණයක් තියන්න. එතකන් අතුරු කමිටුවක් පත් කරන්න. අතුරු කමිටුවක් පත් කරන්න බැරිනම් සිදත් වෙත්තමුනිලා , මහේලලා, සංගක්කාරලා‍, මුරලිලා වැනි ක්‍රීඩකයෝ ටිකක් හරි දාලා මේක දුවන්න. 

ඉන්න ඇමතිතුමාටත් ඒ ගැන වගකීම ගන්න වෙනවා. මම නම් හිතන්නේ අපේ යහපාලන ආණ්ඩුවේ අයහපත්ම දේ වුණේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට. ලෝක කුසලාන තරගාවලිය අපිට ලේසි වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ වගේම මේ පරාජයන්ට නායකයාට විතරක් දොස් කියලා බැහැ. තේරුම් කමිටුවත් එහි වගකීම ගන්න ඕනේ. ක්‍රිකට් පරිපාලනයත් වගකියන්න ඕනේ. බලන්න ආසියානු තරගාවලියට යන්න ඉස්සල්ලා 20 යි 20 තරගාවලියක් පැවැත්වුණා. නමුත් අපි ගියේ පන්දුවාර පනහේ තරගාවලියකට. කෝ අපිට දැක්කමක්. අපේ ක්‍රිකට් පාලකයින් කළේ සංගම්වලට මුදල් ටික බෙදලා දෙන එක. එහෙම නැතුව අපිට දැක්කමක් තිබුණේ නැහැ. මේ තත්ත්වය ගැන අපේ ජනාධිපතිතුමා බලන්න ඕන. අගමැතිතුමාත් බලන්න ඕන. නැතිනම් ඊලඟ මැතිවරණය එනකොට අපි හැමෝටම ජනතාව පාඩමක් උගන්වාවි….” යනුවෙනි.

– තමීර මංජු

No comments:

Powered by Blogger.