අයවැයට සහය දෙන පිරිසක් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්

අයවැයට සහය දෙන පිරිසක් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්

මාර්තු මස 05 දින ඉදිරිපත් කිරීමට යෝජිත ජනතා සහන අයවැයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහයෝගය ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න පදනම විසින් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දරුවන් 200 කට පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

මෙම උත්සවය පැවැත්වුනේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. 

“යහපාලන රජය බලයට පත්වීමෙන් පසු නිවැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා. මම සිංගප්පූරුවේ සිංහ හෙල්ත් ව්‍යාපෘතිය සමග සාකච්ඡා කර මෙරට සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සිට කළමණාකරණ සේවා නිලධාරීන් දක්වා එම පුහුණුව ලබාදෙනවා. දියුණු රටක සෞඛ්‍ය සේවා කටයුතු සිදු කරන ආකාරය පිළිබදව එහිදී සෞඛ්‍ය සේවකයින්ට අධ්‍යයනය කරන්න පුළුවන්. පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිමට සුදානම් වන විට අපේ රජය ජනාධිපතිවරයා විසින් විසුරුවා හැර ඊනියා රජයක් බිහි කළා. නමුත් යළි රජය ස්ථාපිත කර ඇති බැවින් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් නියාමනය කිරිමට අපි කටයුතු කරනවා. ජනතාව දියවැඩියා රෝගයෙන් ආරක්ෂා කිරිම සදහා පැණිබිම සදහා බදු පනවා තිබුනා. එම පැණිබීම බද්ධ ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා විසින් අඩු කර තිබෙනවා. ඔවුන් තමයි දේශප්‍රේමීන් වන්නේ. දරුවන් පාවා දෙමින් සාක්කුවට මුදල් දමාගන්න හදනවා. නමුත් අඩු කළ බදු මුදල යළි වැඩි කිරීමට අපි පියවර ගන්නවා. මේ පිළිබදව මුදල් අමාත්‍යවරයා සමග මම සාකච්ඡා කර කඩිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. වැරදි ආහාර රටාවෙන් දරුවන් බේරාගත යුතුයි. රුපියල් සත වලින් නොව මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. බහුජාතික සමාගම් වල අයිතිය වෙනුවෙන් නොව ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි.”

No comments:

Powered by Blogger.