ඉතිහාසයේ වැඩිම ණය ගෙවීම මෙම අවුරුද්දේ..!



2019 වසර සඳහා ණය ආපසු ගෙවීම වෙනුවෙන් රුපියල් බිලියන 2,200ක මුදලක් එනම්, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදු වන විශාලම මුදල අතුරු සම්මත ගිණුම හරහා වෙන් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කලේ පසුගිය සතියේය.

2019 විසර්ජන පනත් කෙටුම්පතට අනුව ඇස්තමේන්තු කර ඇති සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470ක් වන අතර 2019 වර්ෂයේ සමස්ත අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.8ක් බවද පසුගියදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වුණා.

මුදල් අමාත්‍යංශය පවසන ආකාරයට, රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරෙන් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 1,425ක්ද, ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 838ක්ද වෙන් කර ඇත.

2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11.5ක්ව පැවැති රාජ්‍ය ආදායම යහපාලන රජය බලයට පත්වූවායින් පසුව ක්‍රමිකව වැඩි කරගෙන, එය 2019 වර්ෂය අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් දක්වා වැඩි වනු ඇති බවට රජය ගණන් බලා තිබේ.

එසේම දැනට කරමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් 2021 වර්ෂය වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17ක් දක්වා වැඩි කිරීමටත්, රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක ප්‍රතිශතයකට සීමා කිරීමටත් රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Powered by Blogger.