"ලබා දුන් තීන්දුව පරස්පරයි " - වෛද්‍ය සංගමයෙන් චෝදනාවක්

සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුව හා මීට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත වූ සයිටම් අහෝසි කිරීමේ පනත පරස්පර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අනුව අදාල නඩු තීන්දුවෙන් අනතුරුව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විශාල අර්බුදයකට පත්ව ඇති බවය.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ පනතේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා සයිටම් අහෝසි කරනවා කියන වගන්ති. මේ පනත හදලා තියෙන්නේ නීති හදන පාර්ලිමේන්තුව. මේ තීන්දුව දීලා තියෙන්නෙ මේ රටේ උපරිම අධිකරණ වන ශ්‍රේෂ්ඨාධිකරණය. අපිට බැලූ බැල්මට මේ පනත හා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අතර පරස්පරයක් තියෙනවා කියන කාරණය තමයි මධ්‍යම කාරක සභාව තුළදී අද සාකච්ඡා වුණේ. සයිටම් සටනට සම්බන්ධ වෙලා හිටපු සියලුම බලවේගය හෙට දින උදෑසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කාර්යාලයට කැඳවනවා. රාජිත සේනාරත්න ඇමතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පරාජයට පත් කරන්න අවශ්‍ය පොදු අරමුණක් වෙනුවෙන් එකතු කරන්න පුලුවන් සියලුම බලවේග එකතු කරන්න අද දවස මධ්‍යම කාරක සභාව තීරණය කළා.”

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා මෙසේ අදහස් දැක්විය.

“දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විශාල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙය ක්‍රියාත්මක කරන්න ද නැත්නම් පාර්ලිමේන්තු පනතින් නියම කරල තියෙන දේ කරන්නද කියන එක. මේ  උද්ගතව ඇති තත්වය හරහා අපට රටේ තියෙන අස්ථාවර භාවය ඉතාම මැනවින් පැහැදිලි වෙනවා.”

No comments:

Powered by Blogger.