ශ‍්‍රී ලාංකික එක පවුලේ තුනක් කටාර්හිදී කපා කොටා මරා දමලා

ශ‍්‍රී ලාංකික එක පවුලේ තුනක් කටාර්හිදී කපා කොටා මරා දමලා

කටාර් රාජ්‍යයේදී මීට මාස හතරකට පමණ ඉහතදී ඝාතනය කරන ලද එකම පවුලේ පියා, මව සහ දියණිය යන තිදෙනාගේ මෘත ශරීර ඊයේ (07දා) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළට රැගෙනවිත් තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කැලණිය, සිංහාරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි ලෝගදාසන් මහේන්ද්‍ර රාජ් (පියා) සහ 55 හැවිරිදි සමරමුත්තු වික්ටෝරියා (බිරිය) හා ඔවුන්ගේ දියණියක වූ 34 හැවිරිදි ලෝගදාසන් මහේන්ද්‍ර රාජ් සුදර්ශනී යන තිදෙනා බවද පොලිසිය පවසයි.

කටාර් රාජ්‍යයේදී මෙම දියණිය සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ ලාංකික තරුණයකු විසින් මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකර ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවල සඳහන් වන බවද පොලිසිය සඳහන් කරයි.

මියගිය තිදෙනා කටාර්වල රැකියාව කරමින් සිටියදී අම්පාරේ පදිංචි 34 හැවිරිදි නිස්සංක නමැති අයකු පදවාගෙන යන ටැක්සියකින් රැකියා ස්ථානයට යෑම සහ නැවත පෙරළා නිවෙසට ඒම සිදුව තිබේ.

මෙසේ යන එන ගමනේදී ලෝගදාසන් මහේන්ද්‍ර රාජ් සුදර්ශනී නමැති තරුණිය සමඟ මෙම ටැක්සි රියැදුරු ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇතැයි කියයි. ටැක්සි රියැදුරු විවාහකයකු බැවින් ඇගේ මවුපියන් මෙම ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වූ බවද කියති.

එම නිසා මෙම ටැක්සි රියැදුරු මෙම තිදෙනාව පසුගිය මාර්තු 1 වැනිදා කපා කොටා ඝාතනය කර ලංකාවට පැමිණ සැඟව සිට ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මාර්තු මස 01 වැනිදා මෙම ඝාතනය සිදුව ඇති අතර කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම මෘත ශරීර මෙරටට රැගෙන ඒම ප්‍රමාද වී තිබේ.

මොවුන්ගේ මෘත ශරීර ඊයේ (07දා) පෙරවරු 7.10ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ආ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 266 දරන විශේෂ ගුවන් යානාවකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ගුවන්තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ වී ඇත.

ගුවන්යානයෙන් මෙම මළසිරුරු තුනත් සමඟ තවත් මළසිරුරු 04ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබිණි.

අනෙක් මළසිරුරු 04 ස්වාභාවික හේතුන් මත මියගොස් සිටි අයගේ සිරුරු බව ගුවන්තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවැසීය.

බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මීට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.

මේ අතර මියගිය අයගේ මළසිරුරු 07 වැනිදා උදෑසන ගුවන් මඟින් ශ්‍රී ලංකාව වෙත රැගෙනවිත් ගුවන්තොටුපොළේ සිට මීගමුව රෝහලේ මෘතශරීරාගාරය වෙත රැගෙනවිත් තිබූ අතර මෘතදේහයන් පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසු මළසිරුරු පවුලේ ඥාතීන් වෙත භාරදීමට පියවර ගෙන තිබිණි.

මෙම මිනිස් ඝාතන සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස එම පවුලේ මෙරට වාසය කරන දියණිය පොලිසියෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. මියගිය යෝගනාදන් කටාර් රාජ්‍යයේ කම්කරු රැකියාවක නිරතව සිට ඇත. ඔවුන් මෙරට පදිංචිව සිටි ලිපිනය ලෙස අංක 1090/25, සිංහාරමුල්ල, කැලණිය ලෙස සඳහන්ව තිබිණි.

මීගමුව රෝහලේදී සිදුකරන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු මෘතදේහයන් කැලණියට රැගෙනවිත් මල් ශාලාවක තැන්පත් කර අද (8 වැනිදා) කැලණිය රතු පල්ලියේ පිහිටි කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

No comments:

Powered by Blogger.