සුරේෂ්ගේ සාකච්ඡාවකට විගී අනාරාධිතව ගිහින්



ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවැති විශේෂ සාකච්ඡාවකට උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාද සහභාගි වී තිබේ. දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ ඉදිරි කාලය තුළදී පක්ෂය විසින් ගතයුතු ක්‍රියාමාර්ගයන් සාකච්ඡා කිරීම පිණිසය.
සී.වී. විග්නේශ්වරන් මහතාද දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී දෙමළ ජනතා සන්ධානය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන සිටින අයකු වන අතර ඔහුට ආරාධනයක් නොමැතිවම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ සාකච්ඡාවට එක්ව තිබේ.
කෙසේ වෙතත් රටේ සහ දෙමළ දේශපාලනය තුළ මේ දිනවල පවතින අර්බුද සම්බන්ධයෙන් විග්නේශ්වරන් මහතාද අදහස් දක්වා තිබේ. මේ සාකච්ඡාව අවසානයේදී ප්‍රධාන තීරණ හතරකට එළැඹ ඇති අතර ඉන් පළමු වැන්න වන්නේ උතුරේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් සියල්ලම මේ වසර
ඇතුළතදී ආරක්ෂක අංශවලින් නිදහස් කරගෙන ඒවා අයිති ජනතාවට ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය යන කාරණයයි.
දෙවනුවට ඔවුන් තීරණය කොට ඇත්තේ මහවැලි ව්‍යාපාරයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් වනජීවී දෙපාර්තමේන්තුවත් විවිධ හේතූන් හා අවශ්‍යතාවන් පෙන්වා උතුරේ ඉඩම් ඔවුන්ගේ නිෂ්ඵල කාරණා සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට තම දේශපාලන පක්ෂය පියවර ගත යුතුය යන්නයි.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට මැදිහත් වීම තුන්වැනි කාරණය ලෙස සලකා ඇති ඔවුන් යුද සමයේදී අතුරුදන් වූවන් සඳහා යම් සාධාරණයක් රජය මඟින් ඉටු කරවා ගැනීමට මැදිහත් විය යුතුය යන්න හතරවැනි කරුණා වශයෙන් සාකච්ඡා කොට තිබේ. මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතාද සහභාගි වී සිටියේය.

වවුනියාව -රසාදි චතුරංගි ගමගේ


www.reporter.lk

No comments:

Powered by Blogger.